එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉන්දියාව දරන උත්සාහයට ස්ලෝවැකියාව සිය පූර්ණ සහය ලබා දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ස්ලෝවැකියානු සංචාරයේදී එරට අගමැති රොබට් ෆිකෝ මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාව පළ වූ අතර, වත්මන් ආරක්ෂක කවුන්සිලයේ සාමාජික ව්‍යුහය යල් පැන ගොස් ඇති බවත්, වත්මන් ගෝලීය භූ දේශපාලනික යථාර්ථයන් නිසි ලෙස නිරූපණය වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක කවුන්සිලය ඇතුළු බහුපාර්ශ්වික ආයතන වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් රාජ්‍ය නායකයන් දෙදෙනාම එහිදී අවධාරණය කළහ. ඉන්දියාව වසර ගණනාවක් පුරා ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින අතර, මේ වන විටත් ජර්මනිය, ජපානය, බ්‍රසීලය සහ යුරෝපයේ තවත් රටවල් රැසක් ඉන්දියාවේ මෙම අභිලාෂයට සහාය පළ කර ඇත.
















