ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13ත් 17ත් අතර පාසල් දරුවන්ගෙන් 12%ක් අධිබරින් සහ 3%ක් ස්ථූලතාවයෙන් (Overweight and Obesity) පෙළෙන බව ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණ දත්ත ඇසුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය අනාවරණය කර තිබේ. දරුවන් අතර අධික ලුණු, තෙල් සහ සීනි සහිත ආහාර පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ යාම මීට ප්‍රධාන හේතුව වී ඇති අතර, මීට පිළියමක් ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව සකස් කළ නව ‘සෞඛ්‍යවත් පාසල් ආපණ ශාලා මාර්ගෝපදේශය’ ජූනි 22 වැනිදා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ජනගත කිරීමට නියමිතය. දිවයිනේ පාසල් 10,046ක ඉගෙනුම ලබන ලක්ෂ 39කට ආසන්න සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව චක්‍රලේඛය 2026 වසරේ සිට රට පුරා බලගැන්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී. සුදර්ශන පීරිස් මහතා සඳහන් කළේය.
මෙම නව මාර්ගෝපදේශය යටතේ පාසල් පරිශ්‍ර තුළ දරුවන්ට අහිතකර ආහාර අලෙවිය මුළුමනින්ම තහනම් කෙරෙන අතර, අලෙවි කළ හැකි සහ නොහැකි ආහාර වට්ටෝරු ද්විත්වයක් චක්‍රලේඛයට ඇතුළත් කර තිබේ. මීට අමතරව සියලුම පාසල් ආපණ ශාලා පවතින ප්‍රමිතිය අනුව A, B සහ C ලෙස ශ්‍රේණිගත කිරීමකට ලක් කිරීමට පියවර ගන්නා අතර, නියමිත සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන්ට අනුගත නොවන සහ නීති උල්ලංඝනය කරන ආපණ ශාලා හිමියන් වහාම ක්‍රියාත්මක වන පරිදි අසාදු ලේඛනගත (Blacklist) කිරීමට ද කටයුතු කෙරේ. ජාතික පෝෂණ මාසයට සමගාමීව හඳුන්වා දෙන මෙම වැඩපිළිවෙළ මඟින් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කරමින් වඩාත් පෝෂණීය ආහාර සංස්කෘතියක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.
















