ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) යනු කිසි දිනෙක ප්‍රචණ්ඩත්වයෙන් හෝ මහජනතාව බිය ගැන්වීමෙන් බලය ලබාගත් පක්ෂයක් නොවන බව එහි ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. තමන් සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පමණක් කටයුතු කරන පක්ෂයක් බව අවධාරණය කරන ඔහු, පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ ප්‍රධාන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන බව ද පෙන්වා දෙයි.
මෙහි පළමු පියවර වන්නේ පසුගිය කාලසීමාවේදී විවිධ පාර්ශව විසින් සිදුකළ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් පක්ෂයෙන් ඈත් වූ, තමන්ට මීට පෙර ඡන්දය ලබාදුන් විශාල ජන පදනම නැවතත් පක්ෂය වටා එකතු කර ගැනීමයි. ඉන් අනතුරුව දෙවැනි පියවර ලෙස වත්මන් රජය විසින් අනුගමනය කරනු ලබන වැරදි සහගත ක්‍රියාමාර්ග සහ තීරණ පිළිබඳව රටේ පොදු මහජනතාව නිවැරදිව දැනුවත් කිරීමට පක්ෂය කටයුතු කරනු ඇත.
අවසාන සහ තුන්වැනි පියවර වන්නේ රටේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව සකස් කරන ලද, රට ආර්ථික වශයෙන් ගොඩනැංවිය හැකි අනාගත සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ විශ්වාසය යළි තහවුරු කර ගැනීම බව ද ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.














