27 April 2024
#සංවර්ධන

එළවළු හා පළතුරු ගොවීන්ට සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩා පහසුකම් 

එළවළු හා පළතුරු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී මුහුණ පා ඇති ගැටලු රැසකට විසඳුම් දිය හැකි තාක්ෂණික මෙවලමක් ලෙස ජංගම සූර්ය බලශක්ති ශීත ගබඩාවක් නිර්මාණය කිරීමට ජෙන්සො පවර් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම කටයුතු කර තිබේ.

මෙම නව නිර්මාණය එළිදැක්වීම ඊයේ (23) පිළියන්දල මකුළුදුව පිහිටි එම සමාගම් පරිශ්‍රයේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි.

එළවළු හා පළතුරු නිෂ්පාදන බහුලව සිදුකරන ප්‍රදේශවල ගොවි සංවිධාන හා කෘෂි ව්‍යවසායකයන් වෙත මෙම සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩාව හඳුන්වා දීමට කඩිනමින් කටයුතු කරන බවත් එය කොරෝනා වසංගත සමයේ සිය නිෂ්පාදන නිසි මිලකට විකුණා ගැනීමට සහ එම නිෂ්පාදන නිකරුණේ විනාශ වී යාම වළක්වා ගැනීමට ගොවි ජනතාවට රුකුලක් වනු ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මහසෙන් – සූර්ය බලශක්ති ශීත ගඩබා පහසුකම (Mahasen – EcoStore) ලෙස නම් කර ඇති මෙම නව නිපැයුම් ඒකකය සම්පූර්ණයෙන්ම ස්වාධිනව පූර්ණ බලශක්තියෙන් බල ගැන්වෙන නැවුම් පළතුරු සහ එළවළු ගබඩා පහසුකමක් බවත් එය තුළ පළතුරු හා එළවළු කිලෝ තුන්දහසේ සිට දහදහස දක්වා ඉතා ආරක්ෂිතව මාස හය දක්වා කාලයක් රඳවා ගත හැකි බවත් ඉහත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අවන්ත අතපත්තු මහතා සඳහන් කරයි.

මෙම ඒකකය සඳහා සූර්ය බලශක්ති භාවිතය හේතුවෙන් විදුලි වියදමක් නොමැති බවත් වගා බිම් පරිශ්‍රයේම ස්ථාපිත කළ හැකි බවත් දින කිහිපයක් තිස්සේ අස්වැන්න එකතු කර ගැනුම්කරුවන්ට ලබා දිය හැකි බවත් අවශ්‍ය නම් මේ ඒකකය එළවළු හා පළතුරු නිෂ්පාදන සමග ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය කළ හැකි බවත් වෛද්‍ය අතපත්තු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඒකකය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහයේ සිට විස්ස දක්වා පරාසයක පාලනය කළ හැකි බවත් ගබඩා කරන ද්‍රව්‍ය අනුව ආර්ද්‍රතාවය කාබන්ඩයොක්සයිඩ් අගය දුරස්ථව හෝ ස්වයංක්‍රීයව පාලනය කර හැකි බවත් ගබඩා කිරීම මෙන්ම ඉවතට ගැනීම පහසුවන ආකාරයට නව ඇසුරුම් ක්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ජංගම දුරකථන භාවිතයෙන් මේ කටයුතු නිරීක්ෂණය හා පාලනය කළ හැකි ජංගම දුරකථන යෙදෙවුමක් සකස් කර ඇති බවත් ඉහත ආයතනය දන්වා සිටියි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *