ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ‘මානව කේන්ද්‍රීය AI ආයතනය’ (HAI) විසින් නිකුත් කරන ලද 2026 AI දර්ශකයට අනුව, ලොව කැපී පෙනෙන කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි නිෂ්පාදනය කරන රටවල් අතර තෙවන ස්ථානය දිනා ගැනීමට දකුණු කොරියාව සමත්ව ඇති බව එරට විද්‍යා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය අද (අප්‍රේල් 14) නිවේදනය කළේය. මෙහි ප්‍රථම ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය මාදිලි 50ක් සමඟින් සතු කරගෙන ඇති අතර දෙවන ස්ථානය මාදිලි 30ක් නිෂ්පාදනය කළ චීනයට හිමිව තිබේ.
මෙම වාර්තාවට අනුව දකුණු කොරියාව තවත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම අත්කර ගෙන ඇත. විශේෂයෙන්ම පුද්ගලයන් ලක්ෂයකට හිමි AI පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 14.31ක් ලෙස සටහන් කරමින් අඛණ්ඩව දෙවන වසරටත් ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් විය. එමෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැළඳ ගැනීම සහ භාවිතය අතින් ලොව වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කළ රට ලෙස දකුණු කොරියාව ප්‍රමුඛස්ථානයේ පසුවන අතර, කාර්මික රොබෝවරුන් ස්ථාපිත කිරීම අතින් ලොව හතරවන ස්ථානයට පත්ව ඇත. එහි මුල් ස්ථාන තුන පිළිවෙළින් චීනය, ජපානය සහ ඇමෙරිකාව විසින් දිනාගෙන තිබේ.
නීති සම්පාදනය අතින් ද දකුණු කොරියාව කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර, 2016 සිට 2025 දක්වා කාලය තුළ වැඩිම AI ආශ්‍රිත නීති සංඛ්‍යාවක් සම්මත කළ G20 රටවල් අතර ඔවුන් දෙවන ස්ථානයට පත්ව ඇත. මීට අමතරව සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සහ SK හයිනික්ස් (SK Hynix) වැනි සමාගම් අධි-කලාප පළල මතකය (HBM) නිෂ්පාදනයෙන් ලොව පෙරමුණ ගෙන සිටීම ද මෙම වාර්තාවේ ඇගයීමට ලක්ව තිබේ. කෙසේ වෙතත් දක්ෂ තාක්ෂණික ශිල්පීන් විදේශගත වීම වැළැක්වීම සහ පෞද්ගලික අංශයේ ආයෝජන තවදුරටත් දිරිමත් කිරීම දකුණු කොරියාව හමුවේ පවතින ප්‍රධාන අභියෝග බව ද ස්ටැන්ෆර්ඩ් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














