ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජින ඔක්තෝබර් 13 වැනිදා උතුරු අප්රිකාවේ පිහිටි සෙයුටා (Ceuta) ප්රදේශයේ සංචාරයක නිරත වී තිබේ. මොරොක්කෝව සමඟ දේශසීමා පාලනය සම්බන්ධයෙන් දෙරට අතර මතභේද උත්සන්න වී ඇති පසුබිමක මෙම සංචාරය සිදුව ඇත.
රොයිටර්ස් වාර්තා කළ පරිදි, ජූලි මාසයේදී මොරොක්කෝවේ සිට සෙයුටා වෙත විශාල පිරිසක් දේශසීමාව හරහා ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය සංක්රමණිකයන් 100කට වැඩි පිරිසක් මිහිදන් කර ඇති මුස්ලිම් සුසාන භූමියටද රාජකීය යුවළ ගොස් තිබේ.
2007 වසරෙන් පසු ස්පාඤ්ඤ රාජ්ය නායකයෙකු සෙයුටා වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව වාර්තාවේ සඳහන් වේ. 84,000කට ආසන්න ජනගහනයක් සහිත මෙම ප්රදේශයේ වීදිවලට රැස්වූ දහස් සංඛ්යාත ජනතාව ස්පාඤ්ඤ ධජ අතැතිව රාජකීය යුවළ පිළිගෙන තිබේ.
සෙයුටා සහ මෙලිල්ලා යන උතුරු අප්රිකානු ප්රදේශ දෙක ස්පාඤ්ඤයේ කොටස් ලෙස මැඩ්රිඩ් පාලනය සලකන අතර, මොරොක්කෝව එම ප්රදේශ දෙක සඳහා හිමිකම් කියයි. මෙම තත්ත්වය දෙරට අතර දිගුකාලීන මතභේදයකට හේතු වී තිබේ.
මොරොක්කෝවෙන් ස්පාඤ්ඤයට සංක්රමණය වූ පුද්ගලයන් 72,000කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දේශසීමා පාලනය පිළිබඳ දෙරට අතර මත ගැටුම් උත්සන්න වී ඇති බවද වාර්තා වේ. මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින්, ස්පාඤ්ඤය සමඟ පවතින සංක්රමණික සහයෝගීතා ක්රමවේදය එහි සීමාවන්ට ළඟා වී ඇති බව ප්රකාශ කර තිබේ.
රාජකීය යුවළ බදාදා මෙලිල්ලා ප්රදේශයටද යාමට නියමිත බව රොයිටර්ස් වාර්තා කර ඇත.
















