කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස, වාහන සහ ඉන්ධන කෝටාවන් ඇතුළු පහසුකම් පිළිබඳ තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අද (22) තවත් අයදුම්පතක් යොමු කර තිබේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පසුගිය වසරේ (2025) ජූලි මාසයේ සිට අවස්ථා තුනකදීම අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කර ඇතත්, බලධාරීන් මේ දක්වාම ඒ එකම අයදුම්පතකට හෝ කිසිදු පිළිතුරක් ලබා දී නොමැත. මීට පෙර පාර්ලිමේන්තුවෙන් ද මෙම තොරතුරු ඉල්ලා සිටියත් එතැනින් ද කිසිදු තොරතුරක් ලැබී නැත.
රටේම අවධානයට ලක්වූ මෙවැනි පොදු කරුණක් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදී මඟහැරීම කණගාටුවට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමා ඉදිරිපත් කරන සිව්වැනි සහ “අවසාන” අයදුම්පත මෙය බව සඳහන් කළේය. මෙම අවසාන අවස්ථාවේදී හෝ අදාළ බලධාරීන් නිසි තොරතුරු ලබා දෙන්නේ ද යන්න පිළිබඳව තමා දැඩි විමසිල්ලෙන් පසුවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














