මෙරට අටවැනි සහ නවවැනි පාර්ලිමේන්තුවල මුදල් කළමනාකරණය සිදු වූ ආකාරය පිළිබඳ පූර්ණ විගණන වාර්තාව තවත් මාසයක් වැනි කෙටි කාලයක් තුළ මැතිසබයට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේලා හමුවේ කරුණු දක්වමින් කථානායකවරයා මේ බව අවධාරණය කළේය. ජනතා බදු මුදල් පාර්ලිමේන්තු කටයුතු සඳහා වැය වන ආකාරය පිළිබඳව දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම සහ මින් පෙර විගණනයට ලක් නොවූ පාර්ලිමේන්තුවේ ඇතැම් අංශ පිළිබඳ පාරදෘශ්‍යභාවයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. නව විගණකාධිපතිනිය විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරියේදී වත්මන් පාර්ලිමේන්තුවේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් ද මෙවැනිම විගණනයක් සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මුදල් පාලනයට අමතරව පාර්ලිමේන්තුවේ නව ප්‍රතිසංස්කරණ කිහිපයක් ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව කථානායක නිල නිවාස සංකීර්ණයේ කොටසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. මෙම මධ්‍යස්ථානය හරහා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන සභිකයන්ට ආණ්ඩුකරණය, විගණනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා වැනි විෂයන් පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීමට සැලසුම් කර තිබේ. එසේම වත්මන් පාර්ලිමේන්තුව ගතවූ වසරක කාලය තුළ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ඇතුළු ජනතාවට වැදගත් අණපනත් 26ක් සම්මත කර ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ මැද පෙරදිග අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා විශාල මුදලක් වෙන් කිරීමට ද කටයුතු කර ඇත. මෙහිදී අදහස් දැක්වූ මහනායක හිමිවරුන් සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් පෙන්වා දුන්නේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම් සහ හරවත් කතා පිළිබඳව ජනතාව තුළ පවතින කනගාටුව මඟහරවා ගැනීමට සුදුසු පුද්ගලයන් මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයන් සතු බවයි.














