ගොවීන් මුහුණ දෙන මූල්‍යමය දුෂ්කරතා මගහැරීම සඳහා ඔවුන්ට සහනදායී පොලී අනුපාත යටතේ ණය ලබා දෙන විශේෂ බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.පී. සරත් මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගිනි පොලියට ණය ලබා ගැනීම නිසා නිෂ්පාදන වියදම ඉහළ යාම ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවත්, එම බැංකුව හරහා සෑම ගොවියෙකුටම අක්කරයකට නිෂ්පාදන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට කටයුතු කරන බවත්ය.
ඊට අමතරව, චීනය සමඟ සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකම ‘කෘෂි උපකරණ මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ හරහා ලොව දියුණු තාක්ෂණයෙන් යුත් ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර, ඩ්‍රෝන යානා සහ නියර රහින යන්ත්‍ර වැනි නවීන කෘෂි උපකරණ සහනදායී මිලකට ගොවීන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















