යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින රජයේ සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ රැස්වීමක් ජූනි 24 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අමාත්‍ය අනුර කරුණාතිලක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
ජාතික සංහිඳියාව සහ නැවත පදිංචි කිරීම් ඉලක්ක කරගත් මෙම වැඩපිළිවෙළ යටතේ සීමා නිර්ණයන් අවසන් කිරීම, වන්දි ගෙවීම් කඩිනම් කිරීම සහ අදාළ ඉඩම් කොටස් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පැවරීමට ප්‍රමුඛතාව දීමට තීරණය විය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය මාසයේ යාපනයේ කළ ක්ෂේත්‍ර සංචාරයේ නිරීක්ෂණ ද මෙහිදී ඉදිරිපත් කළ අතර, මෙම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ජාතික ආරක්ෂක මණ්ඩලය (NSC) හරහා අවසන් කිරීමට ද එකඟතාව පළ විය. මෙම සාකච්ඡාවට ආරක්ෂක ලේකම්, යුද හා ගුවන් හමුදාපතිවරුන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















