පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ ජලාශවලට ලැබෙන ජල ධාරිතාව ඉහළ යාම නිසා වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවයි.
දැනට වාන් දොරටු විවෘත කර ඇති ප්‍රධාන ජලාශ ලෙස ලුණුගම්වෙහෙර ජලාශයේ දොරටු 6ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 4,000ක් කිරිඳිඔයටත්, වෙහෙරගල ජලාශයේ දොරටු 6ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 1,400ක් මැණික් ගඟටත් මුදා හැරේ. එමෙන්ම රාජාංගනය ජලාශයේ දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300ක් කලා ඔයටත්, දැදුරු ඔය ජලාශයේ දොරටු 4ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 5,500ක් දැදුරු ඔයටත්, අලිකොටආර ජලාශයේ දොරටු 3ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 500ක් කිරිඳිඔයටත් මුදා හරිමින් පවතී.
හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පිහිටි මෙම ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ගංගා පරිශීලනය කරන පුද්ගලයින් මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














