ශ්‍රී ලංකා අත්පන්දු, කැරම් සහ හොකී යන ජාතික ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබේ. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව, අංක 2489/48 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පියවර ඔස්සේ එම සංගම්වල පරිපාලනමය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර තිබේ. මෙම පත් කිරීම 2026 මැයි 19 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
ලියාපදිංචිය අත්හිටවූ සංගම්:
ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)
ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)
ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey)
මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතු වී ඇත්තේ අදාළ සංගම්වල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ කරගැනීම සහ විනිවිදභාවයෙන් යුත් නිලවරණයක් හරහා නව නිලධාරීන් පත් කර ගැනීමයි.
නව නිලධාරීන් තෝරා පත් කර ගන්නා තෙක් එම සංගම්වල සියලුම පරිපාලනමය කාර්යයන් සහ කළමනාකරණ කටයුතු මෙහෙයවීමේ පූර්ණ බලය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා ඇත.
















