2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වන වගන්තිය ප්‍රකාරව, 2025 වර්ෂයට අදාළ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වාර්තාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කර ප්‍රකාශයට පත් කර ඇති අතර, එය එම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ද ප්‍රසිද්ධ කළ යුතුය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ක්‍රමෝපායන් සහ අභියෝග මෙන්ම 2025 වසරේ ආර්ථික ප්‍රවණතා පිළිබඳ විශ්ලේෂණයක් මෙහි අන්තර්ගත වේ. ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන සාර්ව ආර්ථික හා සමාජ-ආර්ථික දර්ශක සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පිළිබඳව ද මෙම වාර්තාව මගින් විග්‍රහයක් සිදු කෙරේ. මීට අමතරව රජයේ ආදායම හා වියදම, මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය, අයවැය හිඟය මූල්‍යනය කිරීම සහ රටේ ණය ව්‍යුහය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද වාර්තාවට ඇතුළත් වේ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස සිය අනුමැතිය ලබා දී ඇත.
















