ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා භූගෝලීය දර්ශක (Geographical Indication – GI) සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, එහි පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
තැඹිලිවල අනන්‍යතාව සහ ඒවා ශ්‍රී ලංකාවට ආවේණික බව තහවුරු කිරීමට අවශ්‍ය මූලික පර්යේෂණ බොහෝ දුරට අවසන් වී ඇති අතර, ඉතිරිව ඇත්තේ අවසන් අත්හදා බැලීමේ දත්ත විශ්ලේෂණය පමණි. ශ්‍රී ලාංකීය තැඹිලි අනෙකුත් ප්‍රභේදවලින් වෙනස් බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට ලැබී තිබේ.
GI සහතිකය ලබා දෙන්නේ ගොවි සංවිධාන වෙත වන බැවින්, මුලින්ම ගොවි සංවිධාන පිහිටුවීමත්, ඉන්පසු අපනයන සංවර්ධන මණ්ඩලය හරහා සහතිකය ලබා ගැනීමට කටයුතු කිරීමත් අවශ්‍ය වේ. ජාත්‍යන්තර ලියාපදිංචියට පෙර දේශීයව GI ලියාපදිංචිය ලබා ගැනීමට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී තීරණය වී ඇත.
මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ පොල් සහ තැඹිලි සඳහා ‘සුබ කෘෂිකාර්මික පිළිවෙත්’ (GAP) සහතිකය ලබා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව GAP නිර්ණායක සකස් කර ඇති අතර, මේ වසර අවසානය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. GAP සහතිකය ලබා ගැනීම මගින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නිෂ්පාදනය සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම 2030-2035 කාලය වන විට යුරෝපා සංගම් වෙළඳපොළ වෙත පිවිසීමට GAP සහතිකය අනිවාර්ය වනු ඇති බවද බලධාරීන් පෙන්වා දෙයි.














