එල් නිනෝ (El Niño) කාලගුණික විපර්යාසය හේතුවෙන් හටගත් උග්‍ර නියඟයෙන් වගා හානි සිදු වූ ගොවීන් වෙනුවෙන් කෘෂිකාර්මික රක්ෂණ වන්දි ගෙවීම සඳහා රජය විසින් රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කර තිබේ.
මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පිහිටි ගොවීන් 7,000කට ආසන්න සංඛ්‍යාවකට අයත් වගා බිම් අක්කර 8,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් නියඟයෙන් විනාශ වී ඇති බව මූලික නිරීක්ෂණවලදී හෙළි වී ඇත. වී, බඩඉරිඟු, ලොකු ළූණු, අර්තාපල්, සොයාබෝංචි සහ මිරිස් වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක් දක්වා (උපරිම අක්කර 5කට යටත්ව) වන්දි මුදල් ගෙවීමට නියමිතය. ඊළඟ වගා කන්නය ආරම්භ වීමට පෙර මෙම වන්දි මුදල් ගොවීන් අතට පත් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය උපදෙස් දී ඇති අතර, හානි සිදු වූ ගොවීන්ට 1918 කෙටි අංකය ඔස්සේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඇමතීමට පහසුකම් සලසා ඇත.
















