මෙම වසරේ අගෝස්තු මාසයේදී හොංකොං හි පැවැත්වීමට නියමිත ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් කර තිබේ. එමෙන්ම 2019 වසරෙන් පසු ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටි ගුවන් හමුදාවේ දක්ෂ මැදපෙළ ක්‍රීඩිකාවක වන තිළිණි වත්තේගෙදර වසර 6කට පසු නැවතත් සංචිතයට කැඳවීම මෙවර කැපී පෙනෙන සිදුවීමකි.
නැඟී එන ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමේ අරමුණින් නව නෙට්බෝල් පරිපාලනය විසින් මෙවර කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු එක්කර ඇත. ඒ අනුව ෆෙයාර් ෆස්ට් ආයතනය නියෝජනය කරන, හිටපු වොලිබෝල් නායක කාලික වසන්තප්‍රිය මහතාගේ දියණිය වන තිමී මෙයාරා වසන්තප්‍රිය මෙවර සංචිතයට ඇතුළත් කර තිබේ. ඇය මෑත කාලයේදී වොලිබෝල් ක්‍රීඩිකාවක ලෙස ද දස්කම් දක්වා ඇති ක්‍රීඩිකාවකි. සෙසු නවක ක්‍රීඩිකාවන් වන්නේ කුරුණෑගල මලියදේව විදුහලෙන් බිහි වූ තුමල්කා ඒකනායක සහ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයෙන් බිහි වූ අංජලිකා තිලකරත්නයි.
ආසියානු ශූරතාවලියට යන ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට තිසලා අල්ගම, දුලංගි වන්නිතිලක, තුමල්කා ඒකනායක, බාෂි උඩගෙදර, රශ්මි දිව්‍යාංජලී පෙරේරා, ගයාංජලී අමරවංශ, තිළිණි වත්තේගෙදර, නීෂා රාජගුරු, ගයනි දිසානායක, ලියාරා මල්මි තිලකරත්න, තිමී මෙයාරා වසන්තප්‍රිය සහ අංජලිකා තිලකරත්න ඇතුළත් වෙති. මීට අමතරව සමින්දි රසාංගි, හසිනි ඉෂාරා සහ රුක්ෂලා හපුආරච්චි අතිරේක ක්‍රීඩිකාවන් ලෙස නම් කර තිබේ.
















