ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවලට ගැළපෙන, ගුණාත්මක හා ඵලදායී ඉංජිනේරු අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් මෙම කමිටුව පත් කර ඇති අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන මෙන්ම ඉංජිනේරු ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් මෙම කමිටුවට ඇතුළත් වන අතර, මෙරට ඉංජිනේරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ජාතික සංවර්ධන අවශ්‍යතා අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙහි ප්‍රධාන වගකීම වේ.














