ශ්‍රී ලංකාව සහ බහරේනය අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින්, බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය සහ බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (BCCI) සභාපති නබීල් කනූ මහතා අතර විශේෂ සාකච්ඡාවක් බහරේනයේ පිහිටි වාණිජ මණ්ඩල මූලස්ථානයේදී පවත්වා තිබේ.
මෙම හමුවේදී 2027 ජනවාරි මස කොළඹදී පැවැත්වෙන ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස බහරේන් ව්‍යාපාරික දූත පිරිසකට නිල වශයෙන් ආරාධනා කෙරිණි. එසේම ශ්‍රී ලංකාවේ අගය එකතු කළ අපනයන කර්මාන්ත බහරේන් වෙළෙඳපොළ තුළ ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ග සහ ඒ සඳහා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ.
දෙරට අතර පවතින ඍජු ගුවන් ගමන් සම්බන්ධතා මගින් වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ පුද්ගල සබඳතා වර්ධනය වන බව දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, දෙරටේ ව්‍යාපාරිකයන් අතර සෘජු සබඳතා (B2B linkages) වැඩිදියුණු කිරීමටද පියවර ගැනේ. 1910 වසරේ ස්ථාපිත බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එරට ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් ලෙස කටයුතු කරන අතර, 2007 වසරේ සිට ලංකා වාණිජ මණ්ඩලය සමඟ පවතින අවබෝධතා ගිවිසුම හරහා මෙම ආයතන ද්විත්වය දීර්ඝකාලීන හවුල්කාරිත්වයක් පවත්වාගෙන යයි.
















