ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දෙරටේ ඉහළ අවධානයක් යොමුව තිබේ.
බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය, බහරේන් රාජ්‍යයේ ශුරා කවුන්සිලයේ සභාපති අලි බින් සාලෙහ් අල් සාලෙහ් මහතා හමුවී සිදු කළ සාකච්ඡාවකදී මෙම කාරණා විශේෂයෙන් අනාවරණ විය. එහිදී පාර්ලිමේන්තු සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය පෙන්වා දුන් තානාපතිවරිය, බහරේන් ආයෝජකයින්ට මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කර තිබේ. විශේෂයෙන්ම බහරේනයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ප්‍රදර්ශනයක් වන ‘Jewellery Arabia’ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට විශේෂිත ශ්‍රී ලංකා කුටියක් සහිතව සහභාගි වන බවද ඇය මෙහිදී සඳහන් කර ඇත. මීට අමතරව, දෙරට අතර සංචාරක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ බහරේන් ජාතිකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා ගුවන් සබඳතා පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.














