තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ESCAP සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ බංග්ලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆකීර් මහ්බුබ් අනම් (Fakir Mahbub Anam) මහතා අතර මෙම හමුව සිදුවිය. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ කලාපීය අභිලාෂයන් මෙහිදී නැවත තහවුරු විය.
SAARC සහ BIMSTEC වැනි කලාපීය වේදිකාවල පොදු අවශ්‍යතා අවධාරණය කරමින් වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීමට ඇති අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් දෙරට අතර ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් (Preferential Trade Agreement) ඇති කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන උත්සාහයන් පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ.
දෙරට අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් (Joint Working Groups) සහ ආර්ථික කොමිෂන් (Economic Commissions) වැනි ආයතනික ව්‍යුහයන් වඩාත් ක්‍රියාකාරී කිරීමේ අවශ්‍යතාවය දෙපාර්ශවයම අවධාරණය කළහ.
මෙම හමුව හරහා දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දේශපාලනික සහ ආර්ථික විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














