2026 අය-වැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සහ විශේෂ ප්‍රතිපත්තිමය අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේය. ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීම අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් සතු වගකීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ආරක්ෂක, මුදල්, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, සංචාරක, කෘෂිකර්ම, වාරිමාර්ග, ප්‍රවාහන, නාගරික සංවර්ධන, වරාය, සිවිල් ගුවන් සේවා, රාජ්‍ය පරිපාලන, වෙළෙඳ, අධිකරණ, කාන්තා සහ ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, මහජන ආරක්ෂක, තරුණ කටයුතු, පරිසර සහ නිවාස යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ එම ව්‍යාපෘතිවලට අදාළව මතුව ඇති ගැටලු මෙහිදී වෙන් වෙන්ව සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















