මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගී මරණ 27න් 21ක්ම කාන්තාවන් බවත්, පිරිමි මරණ වාර්තා වන්නේ 6ක් පමණක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පවසයි. පසුගිය වසර තුනක දත්ත විශ්ලේෂණය කිරීමේදී ද කාන්තා මරණ ඉහළ මට්ටමක පැවැති බව ඇය සඳහන් කරයි.
කාන්තාවන් නිවසේ වැඩකටයුතු හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රමාද වීම මෙයට ප්‍රධාන හේතුව බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි. උණ වැලඳී ඇති කාලය තුළ ඇඳ විවේකය (Bed rest) අත්‍යවශ්‍ය වන බවත්, කාන්තාවන් ඔසප් වීම වැනි කායික සංකූලතා වෛද්‍යවරුන්ට පැවසීමට මැළි නොවිය යුතු බවත් ඇය අවධාරණය කළාය.
2026 ජූනි මස 16 වන දින වන විට දිවයින පුරා ඩෙංගු මරණ 27ක් වාර්තා වී තිබේ. පවතින වර්ෂාපතනයත් සමඟ මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ. සමස්ත රෝගීන්ගෙන් 51%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතිනි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, හම්බන්තොට, කුරුණෑගල සහ මඩකලපුව රෝගීන් බහුලව වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය ජූනි 8 සිට 10 දක්වා සිදුකළ මෙහෙයුමකදී පරිශ්‍ර 97,000ක් පරීක්ෂා කර, මදුරු කීටයන් බෝවන ලෙස පරිසරය පවත්වාගෙන ගිය ස්ථාන 2,000කට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. වරදකරුවන්ට රුපියල් 25,000ක් දක්වා දඩයක් හෝ මාසයක සිරදඬුවමක් නියම කළ හැකිය. පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කර්මාන්තශාලා, ඉදිකිරීම් බිම් සහ ආගමික ස්ථානවල වැඩිපුර මදුරුවන් බෝවන බව හඳුනාගෙන තිබේ.
දින 2කට වඩා උණ පවතී නම්, මස්පිඬු වේදනාව, හිසරදය හෝ වමනය වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතා පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදුකර ගන්නා ලෙස ඉල්ලා සිටියි. කුඩා දරුවන්, වයෝවෘද්ධ අය සහ නිදන්ගත රෝගීන් උණ වැලඳුණු පළමු දිනයේම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය. මදුරුවන්ගේ ජීවන චක්‍රය දින 7-10ක් වන බැවින්, සෑම සතියකම මිනිත්තු 10ක් වත් තම අවට පරිසරය පිරිසුදු කිරීමට කාලය වෙන් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















