යුද ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පාලනය කිරීම සඳහා නීත්‍යනුකූලව බැඳී පවතින ජාත්‍යන්තර වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රකාශ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති “යුද ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව” පිළිබඳ අවිධිමත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හා තානාපති සුමිත් දසනායක මහතා පෙන්වා දී ඇත්තේ, මාරාන්තික ස්වයංක්‍රිය අවි පද්ධති (LAWS) මෙන්ම AI තීරණ ගැනීමේ ආධාරක පද්ධති (AI-DSS), සයිබර් හැකියාවන් සහ න්‍යෂ්ටික අවි සඳහා AI ඒකාබද්ධ කිරීම වැනි නැඟී එන තාක්ෂණයන් පාලනය කිරීමට ජාත්‍යන්තර සම්මුතියක් අත්‍යවශ්‍ය බවයි. යුද කටයුතුවලදී AI භාවිතය නිසා මානුෂීය වගකීම ගිලිහී යාම, වැරදි ගණනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති (IHL) උල්ලංඝනය වීමේ බරපතළ අවදානමක් පවතින බැවින්, මිනිස් ජීවිත සහ මරණය පිළිබඳ තීරණ යන්ත්‍ර හෝ ඇල්ගොරිදම වෙත පැවරීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ වන බවත්, සෑම අදියරකදීම මානුෂීය කේන්ද්‍රීයත්වය (Human Centrality) ආරක්ෂා විය යුතු බවත් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. නෙදර්ලන්තය සහ දකුණු කොරියාව ඉදිරිපත් කළ, ශ්‍රී ලංකාවේ ද සහාය හිමිවූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවකට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
















