ශ්‍රී ලංකාවේ කොරල්පර සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානයේ සහ විද්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතය. මෙරට වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා විසින් පසුගියදා (25) නිරීක්ෂණයට ලක් කරන ලදී.
නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245 අතරින් දුර්ලභ ගණයේ පවතින බ්ලැක් කොරල් (Black Coral) සහ රෙඩ් කොරල් (Red Coral) වැනි විශේෂ සංරක්ෂණය කිරීම සහ කෘත්‍රිමව වගා කිරීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණ වේ. සාගරයේ ස්වාභාවික උෂ්ණත්වය හා පාරිසරික තත්ත්වයන් විද්‍යාගාර තුළ කෘත්‍රිමව ප්‍රතිනිර්මාණය කරමින් කොරල් වගා කිරීම හා නැවත මුහුදු පත්ලේ රෝපණය කිරීම දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා දේශගුණික විපර්යාස හමුවේ රටේ සංවේදී සාගර ජෛව විවිධත්වය සුරැකීමට අපේක්ෂා කරන අතර, ඉදිරියේදී මෙය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් සහ මහජනතාව සඳහා විවෘත වන කොරල් කෞතුකාගාරයක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වීමට නියමිතය.















