ශ්‍රී ලංකා රේගුවේ ‘Paperless Document Processing’ වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් විසින් රේගු සටහන් සහ අදාළ ලේඛන කඩදාසි භාවිතයෙන් තොරව සම්පූර්ණයෙන්ම විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමයි. රේගු සටහන් සහ ලේඛන මාර්ගගතව (Online) භාර ගැනීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බැවින්, තවදුරටත් සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන භාවිතය අනවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය. මෙම ක්‍රියාවලියේදී ඩිජිටල් අත්සන් (Digital Signature) භාවිතය අනිවාර්ය කර ඇති අතර, ඒ සඳහා LankaSign ආයතනයෙන් අත්සන ලබා ගත යුතු වේ. ඒ පිළිබඳව LankaSign නියෝජිතයන් විසින් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමක් ද සිදු කළහ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු පාර්ශ්වයන් තම පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර, ජනාධිපති කාර්යාලය සමඟ එක්ව සිය සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට ඔවුහු එකඟ වූහ. එසේම, ඩිජිටල් පරිවර්තනය හරහා තම සේවා වඩාත් වෘත්තීය සහ කාර්යක්ෂම මට්ටමකට ඔසවා තැබීමට හැකි වන බව රේගු නිෂ්කාශන නියෝජිතයන් පෙන්වා දුන්හ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රේගුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම වාණිජ මණ්ඩල නියෝජිතයන් ද එක්ව සිටියහ.
















