චීනයේ සිට ආනයනය කරන ලද වානේ දොරවල් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා, දුම්වැටි ලක්ෂ දෙකක් පමණ අඩංගු චීන අකුරු සහිත විශේෂ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන ඇත. ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් වීරකෝන් මහතා මේ බව සඳහන් කර තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නාවික හමුදාව සමඟ එක්ව තොඩුවාව ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී දළ වටිනාකම රුපියල් මිලියන 12කට අධික බීඩිකොළ කිලෝග්‍රෑම් 2076කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඉදිරි විමර්ශන සඳහා එම බීඩිකොළ තොඩුවාව පොලිසිය වෙත භාර දී ඇත.














