වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හිමි ත්‍යාග මුදල්වලින් රුපියල් 161,245 ක මුදලක් කිසිදු අවසරයකින් තොරව රජයේ සේප්පුවෙන් පිටතට ගෙන වෙනත් ස්ථානයක සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි විශේෂ පරීක්ෂණයක් සඳහා නුගේගොඩ කොට්ඨාශයේ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැලිකඩ පොලීසියට පැමිණෙන බව කලින්ම දැනුම් දී තිබී ඇත. එසේ තිබියදී, අදාළ සැරයන්වරයා ඉකුත් 3 වැනිදා මුදල් සේප්පුවේ යතුර ද රැගෙන කිසිදු අවසරයකින් තොරව පොලිස් ස්ථානයෙන් රහසිගතව පිටව ගොස් සිටි බව පොලීසිය පවසයි.
රාජකාරී මට්ටමින් සිදුකළ මෙම බරපතළ විෂමාචාර ක්‍රියාව සහ මූල්‍ය අක්‍රමිකතාව සැලකිල්ලට ගනිමින්, අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහාම නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශ මට්ටමින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
















