ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා විශේෂ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත්, මෙම කමිටු හුදු කමිටුවලට පමණක් සීමා නොවී ක්‍රියාකාරී වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සලසා දෙන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. වර්තමානයේ රට තුළ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින අතර මරණ 25කට ආසන්න ප්‍රමාණයක් ද වාර්තා වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙම බරපතළ තත්ත්වය හමුවේ නිවාස පරිශ්‍රයන් සහ රාජකාරි ආයතන පරිශ්‍රයන් දැඩි අවධානයෙන් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
රෝගීන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වළක්වා ගැනීම මේ අවස්ථාවේ වඩාත්ම වැදගත් බවත්, වර්තමාන රෝග ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ප්‍රතිකාර කිරීමේ ධාරිතාව පවා ඉක්මවා යමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ නිලධාරීහු ද සම්බන්ධ වී සිටියහ.
















