පවතින වැසි සහිත කාලගුණයත් සමඟ පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝග ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි. මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට තිරසර විසඳුම් සෙවීම රජයේ මූලික අරමුණ බවත්, ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන ක්‍රියාමාර්ග සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඩෙංගු මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ජුනි 24, 25 සහ 26 යන තෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ, මෙම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සක්‍රීය සහභාගීත්වය අතිශයින් වැදගත් බවයි. ඒ සඳහා මාධ්‍ය ආයතන වෙත විශාල වගකීමක් පැවරී ඇති බවත්, ජනතාව තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට පෙළඹවීම එම වසංගතය පාලනය කිරීමට ලබා දිය හැකි හොඳම විසඳුම බවත් ඔහු අවධාරණය කළේය.
රජයේ ආයතන, කර්මාන්තශාලා සහ වැඩබිම් ආශ්‍රිතව ද මේ වන විට ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් හරහා ජනතාව දැනුවත් කිරීමට සියලු මාධ්‍ය ආයතනවල සහාය ඉල්ලා සිටියේය. මෙහිදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද ඩෙංගු ව්‍යාප්තියේ අවදානම් සහ රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
















