විදේශ ගෙවීම්වලදී සිදුවූ ඩොලර් සොරකම් පිළිබඳව තවමත් පුළුල් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හැකරුන් අතට ගිය ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම අර්බුදකාරී සිදුවීම පිළිබඳව මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, පරිගණක අපරාධ පිළිබඳ විමර්ශනය කරන සියලුම අංශ එක්ව මේ වන විට විශේෂ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, හැකරුන් විසින් මෙලෙස සොරකම් කරන ලද ඩොලර් මිලියන ගණනක මුදල සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අදාළ සියලුම මූල්‍ය ආයතන සක්‍රීයව මැදිහත් වෙමින් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















