2026 මැයි මාසය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා අංශයන්හි
ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති බව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක (PMI) පෙන්වා දෙයි. අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී නිෂ්පාදන අංශයේ දර්ශක අගය 56.6ක් දක්වා ඉහළ ගොස් ඇත. ආහාර, පාන වර්ග, රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශවල සිදු වූ වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. කෙසේ වෙතත්, මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සැපයුම් දාමයන් සඳහා තවදුරටත් අභියෝග එල්ල වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.
මේ අතර, පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ පහත යෑමෙන් අනතුරුව මෙරට සේවා අංශයද මැයි මාසයේදී දර්ශකාංක 56.9ක අගයක් ගනිමින් වේගයෙන් යථා තත්ත්වයට පත්ව ඇත. ප්‍රධාන වශයෙන් මූල්‍ය, වෘත්තීය සේවා, දේපළ වෙළෙඳාම් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සිදුවූ පිබිදීම මෙම වර්ධනයට මඟ පාදා තිබේ. සේවා ගිවිසුම් කාලය අවසන් වීම සහ විශ්‍රාම ගැනීම් හේතුවෙන් සේවා නියුක්තියේ යම් පහළ යෑමක් වාර්තා වුවද, සමස්ත නව ව්‍යාපාර බිහිවීම ඉහළ මට්ටමක පැවතුණි.
ඉදිරි මාස කිහිපය තුළ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව ධනාත්මක අපේක්ෂාවන් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම ඉදිරියට පැවැත්වීමට නියමිත ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් කේන්ද්‍ර කරගනිමින් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් පවතින පුළුල් ගෝලීය අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මෙම වර්ධනීය වේගයට යම් අවදානම් මතු විය හැකි බවද පෙන්වා දී ඇත.
















