‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමුවීමේ ප්‍රතිශතය 28% කින් ඉහළ ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් මහතා මේ බව සඳහන් කළේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ සහ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
පුනරුත්ථාපනය වී සමාජගතවීමෙන් අනතුරුව යළිත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන පුද්ගලයින් පිළිබඳව ද මෙහිදී කොමසාරිස් ජනරාල්වරයා කරුණු අනාවරණය කළේය. ඒ අනුව, මිතුරු ඇසුර හේතුවෙන් 47% ක්, රැකියා පරිසරය හේතුවෙන් 22% ක් සහ සමාජ පරිසරය මත 24% ක් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන බව වාර්තා වේ. මීට අමතරව, පවුලේ අවධානය අඩුවීම මත 3% ක් සහ ප්‍රේම සබඳතා හා වෙනත් හේතු මත 4% ක් වශයෙන් පුනරුත්ථාපනය වූවන් නැවත මත්ද්‍රව්‍යවලට යොමු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















