එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් මීට පෙර පනවා තිබූ ඉන්ධන සහ විදුලි භාවිතය පිළිබඳ සීමාවන් (Regulations) තාවකාලිකව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති “බුද්ධ රෂ්මි වෙසක් කලාපයේ” අවසන් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව නිල වශයෙන් දැනුම් දී තිබේ. වත්මන් ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද, ජනතාවගේ සංස්කෘතික හා ආගමික ජීවිතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙසක් සතිය තුළ විදුලි කප්පාදුවලින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට කැබිනට් මණ්ඩලය ද මීට පෙර එකඟතාව පළ කර තිබුණි.
මෙම සාකච්ඡාවට එක්වූ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පෙන්වා දුන්නේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර වෙසක් කලාපය තුළ විදුලිය සහ ඉන්ධන ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට කටයුතු යොදා ඇති බවයි. ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්, අවම බලශක්ති පිරිවැයකින් මෙවර වෙසක් කලාපය ආලෝකමත් කරන බව උන්වහන්සේ පැවසූහ. ඒ අනුව, කොළඹ ගංගාරාමය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “බුද්ධ රෂ්මි වෙසක් කලාපය” මැයි 26 වැනිදා සිට 30 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම බලශක්ති හා ආරක්ෂක අමාත්‍යාංශ නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














