තදබල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය සාර්ථක ලෙස යථා තත්ත්වයට පත්වෙමින්, අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට මේ වන විට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, කෙටි කාලයක් තුළ මෙවැනි වේගවත් ආර්ථික පිබිදීමක් ලබාගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද අවධාරණය කළේය. උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය සංචිත නැවත ගොඩනැඟීම සහ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, මෙරට ණය ශ්‍රේණිගත කිරීම් (Sovereign Credit Rating) තවදුරටත් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන සමඟම මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද සඳහන් කළේය. තදබල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී ඉතා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හොඳ ආදර්ශයක් සපයා ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















