පාතාල සාමාජිකයන් ඇතුළු මෙරටින් පලා ගිය අපරාධකරුවන් 236 දෙනෙකුට ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම අපරාධකරුවන් අතරින් 110 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව බවයි. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කරන ලද අපරාධකරුවන්ගෙන් 66 දෙනෙකු මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තවත් සැකකරුවන් 97 දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වන බවත්, ඒ අතරින් සැකකරුවන් 39 දෙනෙකු රැඳී සිටින රටවල් සහ නිශ්චිත ස්ථාන පිළිබඳව පැහැදිලි තොරතුරු ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, ඉදිරි සතියේදී එම පිරිස අතරින් තවත් අයෙකු මෙරටට රැගෙන ඒමට නියමිතය.
















