පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අභියෝගවලින් අනතුරුව මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2015-2018 කාලසීමාවේ ආර්ථිකය සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළ ද රජයේ වියදම් ඉහළ යාම හේතුවෙන් අයවැය හිඟය සියයට 5 සිට සියයට 7 දක්වා මට්ටමකට ඉහළ ගොස් තිබුණි. කෙසේ වෙතත්, 2019 සිට 2022 දක්වා කාලය තුළ ආර්ථික ප්‍රතිපත්ති හා කළමනාකරණ දුර්වලතා හේතුවෙන් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක් විය.
විශේෂයෙන්ම 2021 වසරේ ආරම්භ වූ විදේශ විනිමය හිඟය 2022 වන විට බරපතල අර්බුදයක් බවට පත්වූ අතර, රුපියලේ අගය අවප්‍රමාණය වීම, ඉන්ධන සහ ආහාර හිඟය මෙන්ම උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ජන ජීවිතය දැඩි පීඩනයකට ලක් විය. එකල විදේශ ණය පවා ගෙවීමට රජය අපොහොසත් වූ පසුබිමක, වර්තමානය වන විට එම දැඩි අස්ථාවරත්වය පාලනය කරගනිමින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වී තිබීම සුවිශේෂී ජයග්‍රහණයකි. මහ බැංකුව පෙන්වා දෙන්නේ නිසි කළමනාකරණය හරහා ඉදිරියේදී මෙම ස්ථාවරත්වය තවදුරටත් ආරක්ෂා කරගත යුතු බවයි.














