ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ මුහුණ පා සිටි බරපතළ වැටුප් විෂමතාවලට ස්ථිර විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 03/2014 (I) දරන නව විශේෂ චක්‍රලේඛය නිල වශයෙන් නිකුත් කර තිබේ. මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර ඇත්තේ 2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු කැබිනට් අනුමැතියට අනුකූලවය.
මීට පෙර ක්‍රියාත්මක වූ 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති අතර, ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ, VII වන පරිච්ඡේදයේ, 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්‍ති ආදේශ කිරීමට පියවර ගෙන ඇත. මෙම නව සංශෝධනයට අනුව, මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ වැටුප් ගණනය කිරීම “උසස් වීමක් සේ සලකා” සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ. මෙය විදුහල්පති සේවයේ නිරතවූවන් කාලයක පටන් ඉල්ලා සිටි සාධනීය ඉල්ලීමක් ඉටු කිරීමකි.
වැටුප් සංශෝධනයට අමතරව, විදුහල්පති සේවයේ උසස්වීම් ක්‍රියාවලියේදී පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ, 1 වන ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි මූලික අරමුණ වේ.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පූර්ණ එකඟතාවය ඇතිව එම නිලධාරීන් වෙනුවෙන් විශේෂ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙමඟින් අදාළ විදුහල්පතිවරුන්ට තමන්ගේ උසස් වීම් සඳහා වන සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් 2027 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ සහන කාල සීමාවක් හිමිවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















