ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (17) දින සිදුව තිබේ.
තම ධුර කාලය අවසන් කරමින් සමුගන්නා තානාපතිවරයා සමඟ පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තානාපතිවරයා පෞද්ගලිකව දැක්වූ දායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ ඉහළ ඇගයීමට ලක් විය. දෙරට අතර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ඉටුකළ සේවය පිළිබඳව කෘතඥතාව පළකළ ආරක්ෂක ලේකම්වරයා, තානාපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා සුභාශීංසන ද එක් කළේය.
රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශය සහ මෙරට රජය ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කළ තානාපති අදෙල් ඉබ්‍රාහිම් මහතා, ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ පවතින සුහද සබඳතා තවදුරටත් පවත්වා ගෙන යාමට ඊජිප්තුවේ ඇති කැපවීම නැවත තහවුරු කළේය. මීට අමතරව, ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමේ මාර්ග සහ ඉදිරි සහයෝගීතා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.














