ඉදිරියේදී ඇතිවිය හැකි ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසය හේතුවෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින බවත්, එය පුරෝකථනය කර ඇති පරිදිම බලපෑම් එල්ල කළහොත් පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බැවින් ඊට කල්තියා සූදානම් වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, හදිසි අවස්ථාවකදී ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සතු ජල බවුසර් ප්‍රමාණය ද සීමිත මට්ටමක පවතින බව වැඩිදුරටත් කියා සිටියේය.
දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේදී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය ද අනතුරු අඟවා ඇත. මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ද පවසන්නේ මේ හේතුවෙන් එළඹෙන ජූලි – අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට දැඩි නියං තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩක් පවතින බවයි. පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්හි විශාල වෙනස්කම් ඇති කරන මෙම ස්වභාවික සංසිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වැනි කලාපවලට සාමාන්‍ය වර්ෂාපතනය අඩුවී දරුණු නියඟයන් ඇති වේ.















