ඉදිරි 2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් ඉවත්වීමට අපේක්ෂා කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව පෙන්වා දුන් ඒ මහතා, මීට පෙර රුපියල් 17,000ක් ලෙස පැවති රාජ්‍ය සේවයේ අවම වැටුප ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන පරිදි වර්ධනය වන බව සඳහන් කළේය.
මුල් අයවැය ලේඛන මගින් අදියර කිහිපයකින් වැටුප් ඉහළ දැමූ අතර, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින්ද රුපියල් දසදහසකට ආසන්න මුදලකින් වැටුප් වැඩි වන බව හෙතෙම පෙන්වා දුන්නේය. රටේ ආර්ථිකයට දරාගත හැකි උපරිම මට්ටමින් මෙම වැටුප් සංශෝධන සිදු කර ඇති බවත්, 2027 වසර අවසන් වීමත් සමඟ IMF වැඩසටහනෙන් ඉවත්වී ජනතාවට මීට වඩා වැඩි සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














