විකුණාගත නොහැකි ඉඩම් සහ නිවාස යාතිකා බලයෙන් ඉක්මනින් විකුණා දිය හැකි බව පවසමින්, පුවත්පත් දැන්වීම් පළ කළ කාන්තාවන් රවටා පවුම් හතළිහකට අධික රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සොරකම් කළ කපුවකු යැයිකියාගන්නා පුද්ගලයකු සහ එම රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සතිඅන්ත පුවත්පත්වල ඉඩම් සහ නිවාස විකිණීමට ඇති බවට දමා තිබූ දැන්වීම් නිරීක්ෂණය කරමින් මෙම වංචනිකයා ක්රියාත්මක වී ඇති අතර, මිරිහාන, වැලිකඩ, පිළියන්දල, වරකාපොළ සහ කුරුණෑගල යන ප්රදේශවලදී දේවාලවල කපුවකු ලෙස පෙනී සිටිමින් ඔහු මෙම වංචා සිදු කර ඇත. යාතිකා කටයුතු සඳහා යැයි පවසමින් නිවෙස්වල රන් භාණ්ඩ මුට්ටියකට දමා මල්යහන් මත තබා යාඥා කරන මුවාවෙන්, සූක්ෂම ලෙස එම රන් භාණ්ඩ මාරු කර ලබාගෙන පසුව මට්ටක්කුලිය ප්රදේශයේ පුද්ගලයකුට ඒවා විකුණා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බිංගිරිය ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් 54 හැවිරිදි ප්රධාන සැකකරු සහ රන් භාණ්ඩ මිලදී ගත් 36 හැවිරිදි අනෙක් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














