දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 65කට අයත් පවුල් 1,574ක පුද්ගලයින් 5,242 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 192කට අර්ධ හානි සිදු වී ඇති අතර එක් නිවසක් පූර්ණ ලෙස විනාශ වී ඇත.
මෙහි වැඩිම බලපෑම පුත්තලම දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර එහි පුද්ගලයින් 1,488 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. ඉන් පවුල් 52ක පුද්ගලයින් 162 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 5ක රඳවා තැබීමට පියවර ගෙන ඇත. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,469 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,051 දෙනෙකු ද පීඩාවට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 20ක් මේ වන විට වාන් දමමින් පවතින බව ද වාර්තා වේ.
මේ අතර, දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් අද (17) පස්වරු 4:00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. ඉන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක්, මහනුවර 10ක්, රත්නපුර 7ක්, කුරුණෑගල 2ක් සහ කොළඹ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළුව කොට්ඨාස 27ක් සඳහා 2 වැනි අදියරේ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.














