මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මත, 2026 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම 119.8%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවේ නවතම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව, 2025 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 258.4ක් වූ මෙම වියදම 2026 මාර්තු වන විට ඩොලර් මිලියන 568ක් දක්වා ඉහළ ගොස් ඇත.
මාර්තු මාසයේ සමස්ත ඉන්ධන ආනයන වියදම ද ඩොලර් මිලියන 630.1ක් ලෙස වාර්තා වන අතර, එය පෙර වසරේ අදාළ කාල සීමාව හා සැසඳීමේදී 74.7%ක ඉහළ යාමකි. කෙසේ වෙතත්, බොරතෙල් ආනයන වියදම 27.2%කින් සහ ගල්අඟුරු ආනයන වියදම 56.7%කින් පහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි – මාර්තු) සලකා බැලීමේදී, ඉන්ධන ආනයනය වෙනුවෙන් දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 1,281.5ක් වන අතර එය පෙර වසරට වඩා 21.3%ක වැඩි වීමකි. පිරිපහදු කළ ඉන්ධන සඳහා වැය වූ පිරිවැය ඉහළ යාම මෙම සමස්ත වියදම වැඩි වීමට ප්‍රධානතම හේතුව වී තිබේ.














