ක්‍රිකට් ඉතිහාසයේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ආදි මහින්දියා වන වැලිහිඳ බඩල්ගේ බෙනට් මහතාට උපහාර පිදීමේ සහ ඔහුගේ නාමය විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ විශේෂ උත්සවයක් ගාල්ල මහින්ද විදුහලේදී පවත්වන ලදී.
1953 මාර්තු 01 වැනි දින ගාල්ල ක්‍රීඩාංගණයේදී ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව පැවති තරගයකදී එක් ඉනිමක් තුළ දවාගැනීම් 10ක් (උඩ පන්දු 4ක්, ස්ටම්ප් කිරීම් 6ක්) වාර්තා කරමින් ඔහු මෙම ගිනස් වාර්තාව පිහිටුවීය. මේ වන විට 94 වැනි වියේ පසුවන ඒ මහතා, තමා ලැබූ එම ගිනස් වාර්තාව තම මාතෘභූමිය බඳු විද්‍යාලයට නැවත පරිත්‍යාග කිරීම වෙනුවෙන් මහින්ද විද්‍යාලීය ක්‍රිකට් පදනම විසින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි.
විදුහල්පති ජනක පේදුරුහේවා මහතා ඇතුළු ක්‍රිකට් පදනමේ සාමාජිකයන් සහ විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ආචාරය මැද බෙනට් මහතා උත්සවශාලාව වෙත කැඳවාගෙන ගිය අතර, එහිදී විදුහල වෙනුවෙන් ඔහුට විශේෂ ගෞරව සම්මානයක්ද පිරිනමන ලදී.














