විදුලි ගාස්තු සියයට 25කින් පමණ ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වී ඇති නිසා, 2026 වසර සඳහා අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඇඟලුම් අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන සංසදයක් අනතුරු අඟවයි.
ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාම නිසා දේශීය ඇඟලුම් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ ලැබෙන ඇනවුම් ප්‍රමාණය වේගයෙන් අඩු වෙමින් පවතින බව එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ මහතා ප්‍රකාශ කරයි. අපනයනයෙන් උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රජයට සහ විදුලිබල සමාගම් වෙත ගෙවීමට සිදුවීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව වී තිබේ.පවතින මෙම අහිතකර තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ලක්ෂ තුනහමාරක් (350,000) පමණ වන සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීම් සහ ප්‍රසාද දීමනා (Bonus) ලබා දීම බරපතළ ලෙස දුෂ්කර වී ඇත. මේ හේතුවෙන් ඉදිරියේදී ඇඟලුම් කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම පවා දැඩි අභියෝගයක් වී ඇති බව ලියනහේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.















