මඩකලපුව මෛලත්තමඩු-මාදවනම් ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දී ඇති තණබිම් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොදෙන බව අවධාරଣ කළ අමාත්‍යවරයා, මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව සඳහන් කළේ සියලු ප්රජාවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව පෙන්වා දෙමිනි.
අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණ සිදු කරන වගා කටයුතු හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති අතර, ජනාධිපති මට්ටමින් ගත් තීරණයකට අනුව අදාළ ප්‍රදේශය නිල වශයෙන් තණබිම් ලෙස ගැසට් කිරීමට මහවැලි අධිකාරියේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව ඇතිව කටයුතු කරමින් පවතී. කිරි ගොවීන්ට තණබිම් භාවිත කිරීමට ඇති අයිතිය තහවුරු කරමින් අනෙක් පාර්ශ්වයන්ට මහවැලි ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබාදීමට පියවර ගන්නා බවත්, මීට අමතරව දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී වැලි, පස් සහ බොරළු කැනීම් මැඩපැවැත්වීමට පොලිසිය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
















