වසර 7-8ක කාලයක් පුරප්පාඩුව පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9ක් සඳහා සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකවරුන් පත් කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී ඊයේ (11) මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පාලනය වන රෝහල්වල පරිපාලන සහ කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කර ගනිමින් මෙම පත්වීම් සිදු කර ඇත. පසුගිය වසර එකහමාරක කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කළ ප්‍රතිසංස්කරණවල වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස මෙම පත්වීම් පිරිනැමීම හැඳින්විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නව පත්වීම් ලැබූ නිලධාරීන් වන්නේ විශේෂඥ වෛද්‍ය එම්.කේ.එස්. ඉන්දික කුමාර (කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්), විශේෂඥ වෛද්‍ය එම්.එන්. වීරසූරිය (මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්), විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු (ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්), විශේෂඥ වෛද්‍ය පී.ඩී.එස්. කිරිවන්දෙණිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය සේවා I), විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – දන්ත සේවා), විශේෂඥ වෛද්‍ය කේ.ඩී.පී. විජේසිංහ (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය කේ.ඒ.ඩී.ඩී.වී.එල්. කුමාරපේළි (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – මහජන සෞඛ්‍ය II), විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය සැපයීම්) සහ විශේෂඥ වෛද්‍ය එච්.එම්.ඒ. තිලකරත්න (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – රසායනාගාර සේවා) යන මහත්ම මහත්මීහු වෙති.
මෙම නිලධාරීන්ට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමේ පරිසරය රජය විසින් නිර්මාණය කර ඇති බවත්, ඔවුන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, නව පත්වීම් ලත් නිලධාරීන්ට තම වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙස ඉල්ලීමක් කළේය.
















