මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්ය තාර සැපයුමට බාධා එල්ල වී ඇති බැවින්, විකල්ප රටවලින් තාර ආනයනය ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් එන්. ඒ. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මීට පෙර ඉරානයෙන් වැඩි වශයෙන් තාර ආනයනය කළ නමුත්, යුද ගැටුම් සහ හෝමුස් සමුද්ර සන්ධිය ආශ්රිත බාධා හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට එම ආනයන කටයුතු ඇනහිටි බවයි.
මෙරට මාර්ග නඩත්තු හා සංවර්ධන කටයුතු සඳහා මසකට අවම වශයෙන් තාර මෙට්රික් ටොන් 20,000ක් පමණ අවශ්ය වන බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව, විකල්ප සැපයුම් මාර්ග ඔස්සේ කසක්ස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් තාර සුළු ප්රමාණවලින් ආනයනය කිරීම ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, තාර ප්රවාහනය සඳහා නැව් සොයා ගැනීම තවදුරටත් අභියෝගයක් වී තිබේ. ඇමරිකානු සම්බාධකවලට හසුවීමේ බිය සහ යුදමය තත්ත්වය හේතුවෙන් නෞකා ප්රහාරවලට ලක්වීමේ අවදානම සැලකිල්ලට ගෙන, ඇතැම් නැව් සමාගම් ප්රවාහනය ප්රතික්ෂේප කරන බවත්, ජාත්යන්තර රක්ෂණ ආවරණ ලබාගැනීමේ දුෂ්කරතා පවතින බවත් වාර්තා වේ.















