ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර යෝජිත සමාජ ආරක්ෂණ ගිවිසුම සම්බන්ධයෙන් පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල සිව්වන වටයේ සාකච්ඡා 2026 ජූලි 21-22 දෙදින තුළ කොළඹදී සාර්ථකව අවසන් වූ බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරනවා. මීට දශකයකට පමණ පෙර ආරම්භ වූ මෙම සාකච්ඡා රටවල් දෙකේම ශ්‍රමිකයින්ගේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
දෙදින සාකච්ඡා අතරතුර කණ්ඩායම් දෙකම යෝජිත ගිවිසුම් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති නොවිසඳුනු ගැටලු පිළිබඳව එකඟතාවයකට පැමිණි අතර, යෝජිත ගිවිසුමේ ඇතුළත් වගන්ති සම්බන්ධයෙන් ද තීරණවලට එළැඹිණි. මෙම ගිවිසුම මගින් ඉන්දියාවේ තාවකාලික රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ද්විත්ව සමාජ ආරක්ෂණ දායකත්වයන් ගෙවීම් වළක්වා ගැනීමට හැකි වන අතර, ශ්‍රී ලංකාවේ තාවකාලිකව රැකියාවල නියුතු සුදුසුකම් ලත් ඉන්දීය ශ්‍රමිකයින්ට ද එම පහසුකම හිමි වේ. මීට අමතරව, වයස අවුරුදු 58 සම්පූර්ණ වීමෙන් පසු ඉන්දීය EPF ප්‍රතිලාභ ආපසු ලබාගැනීමේදී මෙතෙක් මුහුණ දුන් ප්‍රායෝගික දුෂ්කරතාවලට ද මෙමඟින් ස්ථිර විසඳුම් ලැබෙනු ඇත.
මෙම සාකච්ඡා සඳහා ඉන්දීය නියෝජිත කණ්ඩායමේ නායකත්වය ඉන්දීය රජයේ ඒකාබද්ධ ලේකම් පී. එස්. ගංගාධර් මහතා විසින් දරන ලද අතර, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.














