නීතිවිරෝධී ලෙස ධීවර යාත්රා දෙරටේ මුහුදු සීමාවන්ට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්රී ලංකා සහ ඉන්දීය රජයන් දැඩි පියවර ගත යුතු බව පාත්ෆයින්ඩර් පදනමේ කීර්තිමත් සාමාජික අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා ප්රකාශ කරයි.
කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ පැවති “තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාවට” එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ එවැනි ක්රියාකාරකම් දෙරටටම බරපතළ ආරක්ෂක තර්ජන එල්ල කළ හැකි බවයි. ධීවර යාත්රා මඟින් මත්ද්රව්ය සහ භයානක ද්රව්ය ප්රවාහනය කිරීම වැනි නීතිවිරෝධී ක්රියා සිදුවිය හැකි බවත්, 2008 මුම්බායි ත්රස්ත ප්රහාරයේදී පවා ත්රස්තවාදීන් ඉන්දීය ධීවර යාත්රාවක් භාවිත කළ බවත් ඔහු සිහිපත් කළේය.
මෙම සාකච්ඡාවේදී, කච්චතිව් දූපත ධීවර පර්යේෂණ මධ්යස්ථානයක් ලෙස භාවිත කිරීමේ හැකියාව සහ එහි විභවයන් ප්රයෝජනයට ගැනීම පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සහ විධායක අධ්යක්ෂ ආචාර්ය දයා සිල්වා යන මහත්වරුන් ද අදහස් දක්වා ඇත.














